Wednesday, August 27, 2014

(හිරි)මල් හීන




දම් පාට නිල් පාට කහ පාට මල් එක්ක
ගං දෑල උඩ පනින මල් හීන මං දැක්ක
නංගියව සිහි වෙන්නෙ රතු ගවුමෙ මල් එක්ක
සංසාරෙ හැමදාම ඇවිදින්නෙ ඈ එක්ක

මොණරගලටත් එහා කේරලේටත් එහා
නිල් අහසටත් එහා මුලු ලෝකෙටම එහා
හිත මිසක කය නොමැති අකනිටාවකි මහා
උඹ ඉන්නෙ මං එක්ක බලාපන් මා දිහා

පාවෙනා හිතේ නුඹෙ සතුට මිස දුක නොමැති
හීනෙනුත් හිනහෙනා ප්‍රීතියේ ඉම නොමැති
ආඩතෝඩා සුවඳ කෙලවරේ බොර දුමැති
විඳගනින් ජීවිතේ මේ තමයි උඹ කැමති

තණ මලක සුවඳ ගෙන විලේ දිය නාන්නට
පණ උනත් පුදන්නම් මලේ සුව විඳින්නට
සිනහවට කැමති නම් හිත පුරා හිනැහෙන්ට
පණ ගැහෙන පපුවකට එයම ඇති සැනසෙන්ට

ජීවිතේ හීනයකි හීනයයි ජීවිතේ
දවාලකි රාත්‍රිය රැයට දහවල සිතේ
ලෝකයම යටිකුරුව පීඩිතව හාමතේ
සහනයක් ලැබගන්න එන්න මේ මාවතේ



කාලයකට ඉස්සරින් ලියපු කවි පෙළක්.. පාළුවට ගිය අඩවිය අලුත් කරන්න හිතුවා..