Thursday, March 12, 2015

කොතැනක හෝ හිඳ නුඹ සතුටින් සිටියි නම් මම ද සතුටින් වග පමණක් පවසමි.




සියක් ගව් මා දුරින් සිටියත් - තනිය දැනෙනා විට හදේ
ඇවිත් මොහොතක් ළඟ රැඳෙන්නම් - අමතකව නැහැ පියබඳේ

නුවන් අග මුතු කඳුලු සඟවා - සිනාසෙන විට සඳ නුබේ
පවන් රැල්ලක් වෙලා ඇවිදින් - මුහුණ සිපගන්නම් ඔබේ

මාලතී මල් පරව යන මුත් - නැවුම් මලකට ඉඩ හදා
මා හදේ මල් අසුන සිපගත් - කුසුම් සුවඳයි නුඹ සදා

පැතුම් පමණක් ළඟ ඉතුරු කර - ජීවිතේ ගඟ යයි ඇදී
සිතින් නොසැලී ගමන මේ දුර - ගලනු කඳුලට ඉඩ නොදී

හදවතක් ඔය නමින් පෙම් කල - කොතැන හෝ හිඳ තනිවෙලා
ජීවිතේ කල් ගෙවාගනු ඇත - නුඹේ සැනසුම දෙස බලා